සංචාරක කළමනාකරු

සංචාරක කළමණාකරුවෙකු කල යුතු කටයුතු සමාගමෙන් සමාගමට වෙනස් වේ. එනමුත් පොදුවේ මෙම තනතුරේ ප්‍රධාන වගකීම වන්නේ පුද්ගලයන් හෝ කණ්ඩායම් සඳහා දුර ගමන් හෝ ගවේෂණ සංවිධානය කිරීම, සැලසුම් කිරීම සහ පහසුකම් සැපයීම ය. සංචාරක කළමනාකරුවන් සේවාදායකයින් සඳහා නිවාඩු සැලැස්මක් සකස් කර, ඔවුන්ව අද්විතීය අත්දැකීමක් ලබා දෙන බවට සහතික කරයි. ස්ථාන වෙන් කරවා ගැනීම, සංචාරක ස්ථාන කළමණාකරුවන් සමඟ ගනුදෙනු කිරීම සහ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම යනාදිය කර දෙන ලෙස සංචාරකයන්, සංචාරක කළමණාකරුවෙකුගෙන් ඉල්ලා සිටිය හැකිය.

රැකියා භූමිකාව

මූලික මට්ටම
කනිෂ්ඨ විධායක: කල යුතු කටයුතු සමාගමෙන් සමාගමට වෙනස් වේ. එනමුත් ඔවුන්ගේ මූලික රාජකාරිය වන්නේ විධායක කළමනාකරු, සංචාරක කළමනාකරු හෝ සංචාරක උපදේශකයාට සහාය වීමයි. මෙම තනතුර රැකියාව, වසර කිහිපයක පළපුරුද්දෙන් පසු ජ්‍යෙෂ්ඨ තනතුරක් ලබා ගැනීමට අවශ්‍ය මූලික ‘පියවරක්’ ලෙස සැලකේ.

ජ්‍යෙෂ්ඨ මට්ටම
සංචාරක කළමනාකරු / සංචාරක උපදේශක / විධායක කළමනාකරු: මෙම තනතුර දරන්නා සංචාරකයන් කැමති වන ආකාරයේ ගමන් ගොඩනැගීමට හා සංචාරකයා වෙනුවෙන් සංචාර සැලසුම් කිරීම සම්බන්ධ සියලු කටයුතු අධීක්ෂණය කරනු ඇත. ඔවුන් යටතේ කණ්ඩායමක් වැඩ කරනු ඇත.

වෘත්තීය ප්‍රගතිය

නිසි සේවා පළපුරුද්ද, නිර්දේශ සහ විවිධ ගනුදෙනුකරුවන් සමග කටයුතු කරන ආකාරය අනුව කණිෂ්ඨ විධායක නිලධාරියෙකුගේ සිට සංචාරක කළමණාකරුවෙකු දක්වා උසස් විය හැක. වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම සහ වගකීම පිළිබඳ හැඟීමක් තිබීම පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට, සහ සමාගමට ආදායම් උත්පාදනය කිරීම සඳහා වැදගත් වේ. ඔබ හොඳින් දස්කම් දැක්වුවහොත් කනිෂ්ඨ මට්ටමේ නිලධාරියෙකු ලෙස වැඩ කළ පළමු මාස හය ඇතුළතදීම ඔබට උසස්වීමක් ලබා ගත හැකිය.

දැනුම හා කුසලතා

පාසැල් අධ්‍යාපනය අනිවාර්ය වන අතර උසස් පෙළ විභාගය අවසන් කර තිබීම ඉතා සුදුසුය. සංචාරක කර්මාන්තයේ උසස් අධ්‍යාපන සුදුසුකම් සහතික ලෙස ඩිප්ලෝමාවක් ලබා ගැනීම ඉදිරියට යාමට හොඳ අවස්ථාවක් වනු ඇත. ආයතනික මට්ටමට යාමට උපකාරී වන ඉහළ ජාතික ඩිප්ලෝමා හෝ NVQ ලබා දෙන තෘතීයික හා වෘත්තීය ආයතන මෙරට තිබේ.

නිපුණතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

සංචාරක කළමනාකරුවෙකු හෝ සංචාරක උපදේශකයෙකු ලෙස රැකියාවක් සඳහා අයදුම් කිරීමට වෙනත් තනතුරුවලදී මෙන්ම, ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV), ඔබගේ අතීත වාර්තා සහ නිර්දේශයන් අවශ්‍ය වේ. ඔබ කනිෂ්ඨ හෝ ජ්‍යෙෂ්ඨ සංචාරක කළමනාකරුවෙකු වශයෙන් ගැලපේදැයි බැලීමට මානව සම්පත් කළමනාකරු විසින් ඔබව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ඇත.

වැටුප

වැටුප එක් සමාගමකින් තවත් සමාගමකට වෙනස් විය හැකිය. කනිෂ්ඨ විධායක නිලධාරියෙකුගේ ආරම්භක වැටුප රු. 30,000 සිට රු. 60,000 දක්වාත්, සංචාරක කළමනාකරුවෙකු සඳහා ඊට වැඩි අගයකුත් විය හැකිය.