වනෝද්‍යාන මාර්ගෝපදේශකයන්

දකුණු අප්‍රිකාවේ ආරම්භ වූ වනෝද්යාන මාර්ගෝපදේශකයන් (රේන්ජර්වරු), සිත්ගන්නාසුළු කතා හරහා සංචාරකයන් ස්වභාව ධර්මය හා වනාන්තරය සමඟ සම්බන්ධ කරයි. එනම්, සංචාරකයන්ගේ සිත් ගන්නා ආකාරයෙන් පරිසරය විස්තර කිරීමේ කාර්යයභාර්යය මෙම මාර්ගෝපදේශකයන් ඉටු කරයි. ඔවුන් හුදෙක් සතෙකු පෙන්වා නම පවසනවා පමණක් වෙනුවට සත්ව විශේෂය, ආහාර රටා, හැසිරීම වැනි පුළුල් තොරතුරු ප්‍රමාණයක් සිත් ගන්නා ආකාරයට ඉදිරිපත් කරයි. මොවුහු 4×4 ජිප්රථවල නැගී ත්‍රාසජනක චාරිකාවන්ට සහභාගී වෙමින් වනය තුළ සංචාරකයන්ට ඇති විය හැකි උවදුරු පිළිබඳව පවා අවධානයෙන් සිටිමින් ආරක්ෂාව සලසන්නට ද සමර්ථයෝ ය.

රැකියා භූමිකාවන්

කනිෂ්ඨ රේන්ජර්වරු – කනිෂ්ඨ මට්ටමේ දී රේන්ජර්වරයෙකුට නිරතුරුව දක්නට හැකි පක්ෂීන්, උභයජීවීන් සහ ක්ෂීරපායින් පිළිබඳ මූලික දැනුමක් පවතී. ඔහුට හෝ ඇයට මූලික චර්යාත්මක ගති ලක්ෂණ විස්තර කිරීමට හැකි වන අතර ජ්‍යෙෂ්ඨ සගයකු සමඟ සංචාරක කණ්ඩායම් හසුවරුනු ලබයි.

රෙන්ජර්වරු – මෙම මට්ටමේ දී, රේන්ජර්වරුන්ට කුරුල්ලන්ගේ සංක්‍රමණික රටාවන් ගැන සංචාරකයන්ට පැවසීමටත්, දිවියන්ගේ විශේෂවල පැතිරීම පිළිබඳ විස්තර පැවසීමටත්, උද්‍යානයේ සෑදෙන සතුන් සහ ශාක පිළිබඳ වැඩි විස්තර පැවසීමටත් හැකි වේ. සත්ත්වයන්ගේ හැසිරීම පිළිබඳව සංචාරකයන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත්, සෆාරිවලදී හමුවන සත්ව විශේෂ පිළිබඳ කථාන්දර පැවසීමටත් ඔවුන්ට හැකි වේ.

ජ්‍යෙෂ්ඨ රේන්ජර්වරු – ජ්‍යෙෂ්ඨ රේන්ජර්වරු වැඩි වශයෙන් කළමනාකරණ කාර්යයන් සඳහා දායක වේ. ඔහුට හෝ ඇයට පැවරී ඇත්තේ සංචාරකයන්ට ගැලපෙන පරිදි රේන්ජර්වරුන්ව යෙදවීම, සංචාරක අවශ්‍යතා කළමනාකරණය කිරීම, ගැටළු නිරාකරණය කිරීම මෙන්ම රේන්ජර්වරු සඳහා ඉලක්ක නිර්මාණය කිරීමයි.

වෘත්තීය ප්‍රගතිය

මෙම කර්මාන්තය තවමත් ශ්‍රී ලංකාවේ මූලික අවධියේ පවතින බැවින් ප්‍රගතිය සඳහා නිශ්චිත කාල නියමයන් ලබා දීම දුෂ්කර ය. කනිෂ්ඨ රේන්ජර්වරයෙකුට ඊළඟ තලයට යාමට මාස 12 ත් 18 ත් අතර කාලයක් ගතවනු ඇත. මෙය රැකියාව තනතුරකට වඩා ආශාව හා උනන්දුව මත පදනම් වූ එකක් බැවින් සාමාන්‍යයෙන් එක් මට්ටමක සිට තවත් මට්ටමකට යාමට හදිසියක් ඇති නොවේ. තවද, වෘත්තීය ප්‍රගතිය රේඛීය එකක් නොවන අතර පළපුරුදු රේන්ජර්වරයෙක්ට කුඩා නවාතැන් පොළක රේන්ජර්වරු කණ්ඩායමක් කළමනාකරණය කිරීමට හෝ පුහුණු තනතුරක් දැරීමට අවස්ථාව ලැබිය හැකිය.

දැනුම හා කුසලතා

කනිෂ්ඨ රේන්ජර් තනතුරක් සඳහා ස්වාභාවික විද්‍යාව පිළිබඳ උපාධියක් තිබීම මෙහි මූලික සුදුසුකමකි. කෙසේ නමුත්, එවන් අධ්‍යයන පසුබිමක් නොමැති නමුත් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පළපුරුද්දක් හා උනන්දුවක් ඇති අය, රේන්ජර්වරුන් ලෙස රැකියාවට පිවිසි අවස්ථා තිබේ. උපාධි අපේක්ෂක මට්ටම, ස්වාභාවික විද්‍යාව හෝ සංරක්ෂණය පිළිබඳ NVQ සහතිකය මෙම කර්මාන්තයට පිවිසීමට ප්‍රයෝජනවත් වනු ඇත.

නිපුණතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

ඔබ රේන්ජර් පුහුණු වැඩසටහනක නියුතු නම්, ඔබේ කාර්ය සාධනය සහ වර්ධනය මත පදනම්ව, වැඩසටහන අවසානයේදී ඔබට සෆාරි ලොජ්වල රැකියාවක් ලබා ගැනීමට ඉහළ සම්භාවිතාවක් ඇත. ඔබට රේන්ජර්වරු සේවයේ යොදවා ඇති ආයතන සඳහාද අයදුම් කළ හැකිය, නැතහොත් යමෙකු සමඟ හවුල්ව ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. ඔබේ කාර්යසාධනය ඔබේ දැනුමේ මට්ටම, එම දැනුම සිත්ගන්නාසුළු හා ආකර්ෂණීය ආකාරයකින් බෙදා ගැනීමට ඇති හැකියාව, ආතතිමය අවස්ථාවන් හසුරුවා ගැනීමට සහ සංචාරකයන් සමඟ සමීපව කටයුතු කිරීමට ඇති හැකියාව මත විනිශ්චය කරනු ලැබේ.

වැටුප

විවිධ සාධක මත වැටුප වෙනස් වේ. රේන්ජර් කෙනෙකු සඳහා දළ වැටුප රු. 30,000 සිට 100,000 දක්වා විය හැකිය.