සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරණය

සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා සම්මන්ත්‍රණ සහ උත්සව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. උත්සව හෝ ප්‍රසංග හරහා, රටක් හෝ විශේෂිත ස්ථානයක් නැරඹීමට සංචාරකයින් ආකර්ෂණය වේ. MICE සංචාර ද (රැස්වීම්, දිරිගැන්වීම් සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන) සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් වන අතර, ඒවා හරහා සංචාරකයින් විශාල කණ්ඩායම් ලෙස රටට ආකර්ෂණය කරයි.

උත්සව කළමනාකරුවන්, තනි හෝ ආයතනික සේවාදායකයින් සඳහා උත්සව සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරයි. උත්සව සංකල්පනය, නිර්මාණය කිරීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සම්බන්ධ විය යුතු අතර, සමහර අවස්ථාවන්හිදී ඔවුන්ගේ සේවාදායකයින් වෙනුවෙන් එම උත්සව ප්‍රවර්ධනය කිරීම ද සිදු කළ යුතු විය හැකිය.

මෙය තරමක් ආකර්ශනීය රැකියාවක් ලෙස සැලකිය හැකිය, මන්ද ඔබ සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙකු ලෙස ජනප්‍රිය වූ පසු, ප්‍රසිද්ධ පුද්ගලයන්/ ආයතන විසින් ඔබ සොයා එනු ඇත. ඔබ සංචාරක ක්ෂේත්‍රයේ හෝටලයක, නිවාඩු නිකේතනයක හෝ වෙනත් ආයතනයක උත්සව කළමනාකරුවෙකු ලෙස රැකියාව කරන්නේ නම්, ඔබට ඉහළ පෙළේ අමුත්තන් සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇත.

රැකියා භූමිකාවන්

මෙම වෘත්තියේ සාමාන්‍යයෙන් ඇත්තේ තනතුරු දෙකක් පමණි. එනම්, ඔබට සහකාර කළමනාකරු හෝ කළමනාකරු විය හැකිය. උත්සව කළමනාකරුවෙකුගේ කාර්යභාරය ඔවුන් සේවය කරන සමාගම සහ කර්මාන්තය අනුව වෙනස් විය හැකිය. උත්සවයක් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උත්සව කළමනාකරුවකුගේ පූර්ණ වගකීම වේ. කළමනාකරු හට සහාය වීම සඳහා සමස්ත කණ්ඩායමක් සිටියද, අවසානයේදී සියල්ල සැලසුමට අනුකූලව සිදු වන බවට වග බලා ගැනීම කළමනාකරුගේ වගකීම වේ. සම්මන්ත්‍රණ සහ උත්සව කළමනාකරුවන් සේවාදායකයින්, උත්සව භාණ්ඩ සැපයුම්කරුවන් සහ ස්ථාන කළමනාකරුවන් සමඟ සමීපව කටයුතු කරයි.

කුසලතා

වෘත්තීමය ප්‍රගතිය

මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් බහුල තනතුරු වන්නේ සහකාර කළමනාකරු සහ කළමනාකරු යන තනතුරු වන අතර ඒ දෙකම විධායක මට්ටමේ තනතුරු වේ. කණිෂ්ඨ තනතුරක සිට ජ්‍යෙෂ්ඨ තනතුරක් දක්වා වර්ධනය වීම හැර ප්‍රගතිය සඳහා පැහැදිලි මාවතක් නොමැත. කෙසේ වෙතත්, ඔබට කුඩා පරිමාණයේ උත්සව සංවිධානය කරන සමාගමක සිට මහා පරිමාණ සමාගමක් දක්වාද ඉදිරියට යා හැකිය. සැලකිය යුතු වසර ගණනක අත්දැකීම් ලැබීමෙන් පසු, අවශ්‍යනම්, ඔබට ඔබේම උත්සව සංවිධානය කරන සමාගමක් ආරම්භ කළ හැකිය.

දැනුම සහ කුසලතා

අත්දැකීම් වලට අමතරව, මෙම ක්‍ෂේත්‍රයේ වෘත්තිය ආරම්භ කිරීම සඳහා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්වීම යන අධ්‍යාපන සුදුසුකම් ද තිබිය යුතුය. බොහෝ සේවා යෝජකයින් ඔබගේ කුසලතා, පෞරුෂත්වය සහ අත්දැකීම් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බැවින්, මෙම භූමිකාව සඳහා ඔබට උපාධි සුදුසුකමක් අවශ්‍ය නොවේ. නමුත්, ඔබේ අනාගත කටයුතු වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම්, උත්සව කළමනාකරණය, මහජන සම්බන්ධතා, අලෙවිකරණය, හෝටල් හෝ ආහාරපාන කළමනාකරණය, හෝ සංචාරක ව්‍යාපාරය පිළිබඳ උපාධියක් හෝ ඩිප්ලෝමාවක් / උසස් ජාතික ඩිප්ලෝමාවක් තිබීම අනිවාර්යයෙන්ම උපකාරී වේ.

කුසලතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

ඔබ උත්සව කළමනාකරණ සමාගමක රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්, මානව සම්පත් කළමනාකරු සහ කළමනාකාර අධ්‍යක්ෂ විසින් ඔබව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ඇත, නමුත් ඔබ හෝටලයක උත්සව කළමනාකරණය සඳහා අයදුම් කරන්නේ නම්, බො‌හෝ විටි ඔබව කළමනාකරුවන් පිරිසක් විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ඇත. එක් එක් කළමනාකරු විසින් විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඔබව පරීක්ෂා කරනු ඇත. වැටුප් සහිතව හෝ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ලබාගත් අදාළ අත්දැකීම් සහ දැනුම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අත්‍යවශ්‍ය වේ. පාසැලේ උත්සව සංවිධානය කිරීමට ඔබ සහාය වී ඇත්නම්, එය ඔබේ වාසියට යොදා ගත හැකිය. ඔබ තවමත් ඔබේ උසස් අධ්‍යාපනයෙහි නිරත වන්නෙකු නම්, ඔබගේ විශ්ව විද්‍යාලය, පුණ්‍යායතන හෝ ඔබට සම්බන්ධතා ඇති වෙනත් සංවිධාන සහ සමාජ සංගම් සඳහා උත්සව සංවිධානය කිරීම සඳහා ඔබේ කාලය හැකි උපරිමයෙන් යොදවන්න. ආගන්තුක සත්කාර කර්මාන්තයේ හෝ විකුණුම්, අලෙවිකරණය හෝ පාරිභෝගික සේවා භූමිකාව පිළිබඳ පළපුරුද්ද ද ප්‍රයෝජනවත් වේ.

වැටුප් පරිමාණය

ඔබ හෝටලයක, උත්සව කළමනාකරණ සමාගමක, සම්මන්ත්‍රණ ශාලාවක, විශාල වාණිජ සංවිධානයක, උත්සව ශාලාවක, වෙළඳ ප්‍රචාරණ හෝ මහජන සම්බන්ධතා සමාගමක වැනි ස්ථාන වල සේවය කරන්නේ නම්, ඔබේ වැටුප රුපියල් 35,000 කින් ආරම්භ වේ. ඔබ හෝටලයක සේවය කරන්නේ නම් ඔබට සේවා ගාස්තුවෙන් සැළකිය යුතු ප්‍රතිශතයක්ද ලබා ගත හැකිය.