ගමනාන්ත කළමණාකරන සමාගමක වෘත්තීන්

ගමනාන්ත කළමණාකරන සමාගමක් යනු කුමක්ද?

ගමනාන්ත කළමනාකරණ සමාගම් සංචාරක කර්මාන්තයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ එමඟින් සංචාරකයින් සංචාරක සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බැවිනි. ඉතා සරළව කිවහොත්, ගමනාන්ත කළමනාකරණ සමාගම් මඟින් ගමනාන්තයක් තුළ ඇති හෝටල්, සංචාරක මාර්ගෝපදේශ සහ සත්කාරක අත්දැකීම් ඇතුළුවූ සංචාරක සේවා, සංචාරක ඒජන්සියක් වෙත හඳුන්වා දීම සිදු කරයි. සංචාරක නියෝජිතායතනය විසින් මෙම දීමනා සහ නිෂ්පාදන ඔවුන්ගේ සේවාදායකයින්ට පැකේජයක් ලෙස විකුණනු ලැබේ. ගමනාන්ත කළමණාකරන සමාගම අදාළ ගමනාන්තයේ සියලු කටයුතු වෙත අවධානය යොමු කරන අතර, සැපයුම්කරුවන් තම යුතුකම් ඉටු කරන බවට සහතික වෙමින් සැලැස්මේ යම් ගැටළුවක් ඇත්නම් සංචාරක ඒජන්සිය සහ සේවාදායකයා වෙනුවෙන් මැදිහත් වේ.

තමන් ප්‍රවර්ධනය කරන දේශයෙහි සංචාරය කිරීමට සහ ගවේෂණය කිරීමට ආශාවක් ඇති අයට ගමනාන්ත කළමණාකරන සමාගමක වෘත්තියක් හොඳින් ගැලපේ. ඔබට විකුණුම් සහ අලෙවිකරණය පිළිබඳ උනන්දුවක් ඇත්නම් මෙයද හොඳ වෘත්තීය අවස්ථාවක් වනු ඇත. මන්දයත් ජාත්‍යන්තර සංචාරකයින්ට සහ සංචාරක නියෝජිතයින්ට / හවුල්කරුවන්ට ගමනාන්තයක් හෝ අත්දැකීමක් පිලිබඳව ඒත්තු ගැන්වීම අභියෝගයක් විය හැකිය. ඉතාම තරඟකාරි වාතාවරණයක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව පමණක් නොව ඔබගේ ආයතනය පිළිබඳවද උනන්දුවක් ඇති කිරීමට සිදුවනු ඇත. මෙහෙයුම් කළමණාකරනය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති අය, සැලකිය යුතු ප්‍රමාණයක සම්බන්ධීකරණයක් සහ සැපයුම් විධිවිධාන අවශ්‍ය බැවින් ගමනාන්ත කළමණාකරන සමාගමක වෘත්තියක් ඇළුම් කරනු ඇත.

රැකියා භූමිකාවන්

ව්‍යුහාත්මක සහ සාම්ප්‍රදායික ගමනාන්ත කළමණාකරන සමාගමක පහත සඳහන් රැකියා භූමිකාවන් දක්නට ලැබේ. මෙයට වඩා වෙනස් ව්‍යුහයක් හා වෙනස් රැකියා භූමිකාවන් සහිත නිකේතන වෙළඳපළවල්වලට සේවා සලසන කුඩා ප්‍රමාණයේ ගමනාන්ත කළමණාකරන සමාගම් ද දක්නට ලැබේ.

කණිෂ්ඨ විධායක හා විධායක – සංචාරක ගමන් විස්තර සකස් කිරීම සහ ජාත්‍යන්තර සංචාරකයින් සඳහා සැපයුම් සම්බන්ධීකරණය කිරීම, හෝටල්, සංචාරක මාර්ගෝපදේශ, ප්‍රවාහන සැපයුම්කරුවන් ආදිය සමඟ වෙන්කරවා ගැනීම සහ සම්බන්ධීකරණය කිරීම ආදිය සිදු කරනු ලබයි. විධායක මට්ටමේ සේවකයෙකුට සංචාර සංවිධානය කිරීම සහ කළමනාකරණය කිරීමේදී තවත් වගකීම් ඇත.

ජ්‍යෙෂ්ඨ විධායක – වගකීම් අතින් ඉහත තනතුරුවලට බෙහෙවින් සමාන නමුත් ජ්‍යෙෂ්ඨ විධායකයෙකු වඩාත් අධීක්ෂණ භූමිකාවක් ඉටු කරයි. මෙම අවදියේදි සේවකයා එතෙර පාර්ශ්වකරුවන් සමඟ අන්‍යෙන්‍ය සම්බන්ධතා ආරම්භ කර ඔවුන් සමඟ සබඳතා ගොඩ නඟා නැගීම ආරම්භ කරයි. ඔවුන් දැනට සිටින හවුල්කරුවන් සමඟ අලෙවිකරණ කටයුතුවලට ද සම්බන්ධ වනු ඇත. සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායමක් ඔවුන් යටතේ වැඩ කරනු ඇත. නව ව්‍යාපාර අවස්ථා සෙවීමට කළමනාකරණය විසින් ඔවුන්ව දිරිමත් කරන මුත් එය ඔවුන්ගේ මූලික කාර්යය නොවේ. මෙම මට්ටමේ යමෙකු නව ව්‍යාපාර කටයුතු ගෙන ඒම සඳහා දක්ෂතාවයක් ඇති බව ඔප්පු කළ විට, කළමනාකාරිත්වය විසින් ඔවුන්ගේ භූමිකාව තවදුරටත් පුළුල් කරමින් සහකාර කළමණාකරුගේ භූමිකාවට පිවිසීමට ඔවුන්ට මඟ පාදනු ලබයි.

සහකාර කළමණාකරු – මෙම තනතුර දරන්නේ ගිණුම් හා ඇතැම් රටවල් භාරව සිටින ගිණුම් කළමණාකරුවන් විසිනි. ඔවුන්ට විදේශීය වෙළඳපල වෙත සංචාරය කිරීම, නව ව්‍යාපාරික හවුල්කරුවන් ගෙන ඒම, පවත්නා හවුල්කරුවන් සමඟ සබඳතා පවත්වා ගැනීම සහ විදේශීය සංචාරක ක්‍රියාකරුවන්ගේ මධ්‍යම කළමනාකරණය සමඟ සම්බන්ධ වීම පැවරේ. මෙහෙයුම් කළමනාකරණයට අමතරව ඔවුහු ව්‍යාපාර සංවර්ධනයක් සහ සම්බන්ධතා කළමනාකරණ කාර්යභාරයක් ඉටු කරයි. මෙහෙයුම් විධිමත්ව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ඔවුන් කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් කණ්ඩායම සමඟ සමීපව කටයුතු කළ යුතුවේ.

කළමණාකරු – වෙළඳපල විශාලත්වය මත පදනම්ව යම් රටකට හෝ රටවල් සමූහයකට වගකීම දරයි. ඔවුුහු වඩාත් උපායමාර්ගික කාර්යභාරයක් ඉටු කරති – උපායමාර්ගික කළමනාකරණය, උපායමාර්ගික චින්තනය සහ සැලසුම් කිරීම ආදි වශයෙනි. මූල්‍ය හා ආදායම් සැළසුම් සඳහා ද ඔවුන් සම්බන්ධ විය යුතු අතරම අර්බුද පැනනැඟුණහොත් ඒවා විසඳීමට ද පියවර ගත යුතුය.

අවශ්‍ය දැනුම

උසස් පෙළ සුදුසුකම් ඇති පාසල් හැරගිය අයට කණිෂ්ඨ විධායක නිලධාරියෙකු ලෙස ආයතනයට ඇතුළත් විය හැකිය. සේවා පළපුරුද්ද සහ / හෝ අදාළ ක්ෂේත්‍රයක උපාධියක් ලබා තිබීම මඟින් විධායක මට්ටමින් ආයතනයට ඇතුළත් වීමට ඔබට හැකියාව ලැබේ. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) සුදුසුකම් අමතර වටිනාකමක් ගෙන එනු ඇති අතර ඔබව කර්මාන්තයට සූදානම් කිරීමේදී ප්‍රයෝජනවත් වනු ඇත. බොහෝ මහා පරිමාණ ගමනාන්ත කළමණාකරන සමාගම් විසින් ඔබගේ කාර්යයන් ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට ඔබ හොඳින් සූදානම්ව සිටින බව සහතික කිරීම සඳහා අනිවාර්ය පුහුණුවක් ලබා දෙනු ඇත. විශේෂයෙන් ඔබ ප්‍රවර්ධනය කරන ගමනාන්තය සහ එහි විවිධ ආකර්ශන සහ අත්දැකීම් පිළිබඳව ස්වයං ඉගෙනීමක් සිදු කර තිබීම නිසැකවම ඔබට කැපී පෙනෙන තැනක් ලබා දෙනු ඇත.

කුසලතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

මෙම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සාමාන්‍යයෙන් දැන්වීම් මඟින් පල කරනු ලැබේ. වඩා විශාල ගමනාන්ත කළමණාකරන සමාගම්වල වෙබ් අඩවිවලට ඔබට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව ඉදිරිපත් කළ හැකි අතර ඔවුන්ට සුදුසු අවස්ථාවක් ඇතැයි හැඟෙන්නේ නම් ඔවුන් ඔබ හා සම්බන්ධ වනු ඇත. කණිෂ්ඨ මට්ටමේදී, බොහෝ විට මානව සම්පත් කළමනාකරුවෙකු සහ සහකාර කළමනාකරුවෙකු විසින් ඔබව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ඇත. ඔවුන් ඔබේ නිපුණතා කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර මූලික කුසලතාවයක් යොදා ගන්නා අයුරු නිරූපණය කිරීමටද ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය. ඔබට කිසියම් අවස්ථාවක් හසුරුවන්නේ කෙසේදැයි බැලීමට ඔවුන් ඔබට උපකල්පිත ගැටළු ඉදිරිපත් කළ හැකි අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ඔබගේ දැනුම පිළිබඳව ඔබෙන් ප්‍රශ්න කළ හැකිය..

වඩාත් ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා අයදුම් කරන අය බොහෝ විට සමාගම් අධ්‍යක්ෂක හෝ ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් සම්මුඛ සාකච්ඡාවට භාජනය කෙරෙනු ඇත. ඔබගේ අත්දැකීම්, සාර්ථකත්වය සහ උපායමාර්ගික චින්තනය සහ සැලසුම් කිරීමේ හැකියාවන් සම්මුඛ පරීක්ෂණයේදී බොහෝ දුරට සාකච්ඡා කෙරෙනු ඇත.

වැටුප්

ඇතුළත් වීමේ මට්ටමේ වැටුප රු. 25,000 සිට රු. 35,000 දක්වා පමණ විය හැකිය. සහකාර කළමණාකරුවන්ට රු. 80,000 සිට 100,000 දක්වා වැටුපක් ලබා ගත හැකිය. ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබට දිරි දීමනාද ලැබිය හැකිය. වැඩ කරන කාලය බොහෝ දුරට රඳා පවතින්නේ ඔබ සේවය කරනු ලබන වෙළඳපලවල් මත ය.