හෝටල් කර්මාන්තයේ අලෙවිකරණය සහ විකුණුම්

අලෙවිකරණය සහ විකුණුම් ආගන්තුක සත්කාර කර්මාන්තයේ වැදගත් අංශ වන අතර ඒවා ව්‍යාපාරයක ලාභදායිතාවයට සෘජුවම බලපායි. හෝටලයක ආදායම වර්ධනය කිරීම සඳහා උපාය මාර්ග සහ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම, අලෙවිකරණ සහ විකුණුම් කණ්ඩායම සතු වගකීමකි. ව්‍යාපාරයෙහි මූලික අංග වන කාමර වෙන්කිරීම, උත්සව ශාලා සැපයීම, විනෝදාත්මක අංග සහ අවන්හල් ආදියෙන් ලාභ උපයා ගැනීමට කටයුතු කිරීම මෙම කණ්ඩායමට පැවරී ඇත.

මෙම ක්ෂේත්‍රයේ බොහෝ ආයතනවල අලෙවිකරණය සහ විකුණුම් යන කාර්යයන් දෙකම ආවරණය කිරීම සඳහා එක් කණ්ඩායමක් ඇත. කෙසේ වෙතත් ඇතැම් හෝටල්වල මෙම කාර්යයන් දෙක සඳහා වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් තිබිය හැක. මෙය ඉහළ පිළිගැනීමක් ඇති රැකියාවක් වන අතර තමාට අයත් කාර්යභාරය ඵලදායීව ඉටුකිරීමට ඔබ කුසලතා රැසකින් සමන්විත විය යුතු ය. අලෙවිකරණ සහ විකුණුම් කණ්ඩායමේ සාමාජිකයෙකුගේ කාර්යභාරය සමාගමේ ව්‍යූහය මත රඳා පවතී. කෙසේ වෙතත් හෝටල් අලෙවිකරණයේ මූලික කාර්යයන් පහත දැක්වේ. මෙම කර්මාන්තයේ ඉහළට යාමට නම් ඔබට පහත ක්ෂේත්‍ර හතරෙහිම අත්දැකීම් වැදගත් වේ.

දැවැන්ත හෝටල් දාමයන්හි මෙම සෑම කාර්යයක් සඳහා ම වෙන් වූ රැකියා අවස්ථා ඇති අතර කුඩා හෝටල්වල එක් සේවකයෙකුට මෙම සියලුම වගකීම් පැවරී තිබිය හැක. ශ්‍රී ලංකාවේ බොහෝ හෝටල් පුළුල් පාර්භෝගික පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන අලෙවිකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන නමුත් මාර්ගගත අලෙවිකරණය (online marketing) කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙමින් පවතී.

රැකියා භූමිකාවන්

ඇතුළත්වීමේ මට්ටම

අධීක්ෂණ මට්ටම

කළමනාකරණ මට්ටම

දැනුම

අධ්‍යයන සහ වෘත්තීමය මුල පිරුම සම්බන්ධයෙන් ගත් කල අලෙවිකරණ ඩිප්ලෝමාවක්, උපාධියක් හෝ වරලත් කළමනාකරණ හා ගණකාධිකාරණ (CIM) සුදුසුකම් වැනි මූලික අලෙවිකරණ සුදුසුකම් තිබීම විශිෂ්ට ආරම්භයක් වනු ඇත. තවද ගූගල් (Google) ආයතනය විසින් පිරිනමනු ලබන මාර්ගගත අලෙවිකරණ සුදුසුකමක් ද තිබීම වැදගත් වේ. මෙම ක්ෂේත්‍රයේ වෘත්තියක් ආරම්භ කිරීම සඳහා ඔබට අලෙවිකරණය පිළිබඳ මනා මූලික දැනුමක් තිබිය යුතු ය. අත්දැකීම් සහ නිරාවරණය වීම් මඟින් ඔබේ දැනුම පුළුල් වන අතර ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා ඔබව සූදානම් කිරීමට එය උපකාර වනු ඇත.

අලෙවිකරණ දැනුම හැරුණු විට කර්මාන්තය පිළිබඳ දැනුවත් වීමටත් එය විශාල වශයෙන් උපකාරී වනු ඇත. මෙයින් අදහස් කෙරෙන්නේ ඔබ හෝටලයක අලෙවි අංශයේ සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම් ප්‍රථමයෙන් හෝටලයක ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් විය යුතු බවයි. ආගන්තුක සත්කාර කර්මාන්තයේ අලෙවිකරණය නොවන වෙනත් අංශයක් වෙත යොමු කර ඔබට ඒ ඒ අංශ පිළිබඳ දැනුම සහ අවබෝධය ලබා දෙන අතර එම පුහුණුව ඔබට වඩාත් සාර්ථක අලෙවිකරුවෙකු බවට පත්වීමට උපකාරී වනු ඇත.

තවද අලෙවිකරණය සහ සන්නාම ප්‍රවර්ධන උපාය මාර්ග සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ දී වෙළඳ දැන්වීම් පිළිබඳ පලපුරුද්දක් තිබීම බෙහෙවින් වාසිදායක වේ. ඔබ හෝටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ වෘත්තීම වශයෙන් ඉහළට පියමැනීමට බලාපොරොත්තු වන්නේ නම් වෙළඳ ප්‍රචාරණ ආයතනයක සේවය කිරීමෙන් අත්දැකීම් ලබාගෙන ඔබේ ග්‍රාහක පිරිසට ආමන්ත්‍රණය කිරීම සඳහා භාවිත කළ හැකි සුදුසුම මාධ්‍යය කුමක්ද, අයවැය සැලසුම් කරගන්නේ කෙසේද මෙන්ම නිර්මාණාත්මක සංකල්ප සම්පාදනය සහ පාරිබෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව අධ්‍යයනය කරන්න. මෙහිදී ගමනාන්ත අලෙවිකරණය පිළිබඳ ඇතැම් අත්දැකීම් සහ දැනුම ද ප්‍රයෝජනවත් වනු ඇත. ඔබ හෝටලයක අලෙවිකරණ හෝ විකුණුම් කණ්ඩායමක සාමාජිකයෙකු නම් ඔබට විකිණීමට සිදුවන්නේ කාමරයක් නොව අත්දැකීමකි, ගොඩනැගිල්ලක් නොව ගමනාන්තයකි.

නිපුණතා

වෘත්තීය ප්‍රගතිය

ඔබට කණිෂ්ඨ මට්ටමේ විධායකවරයෙකු ලෙස අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ උපාධියක් ලබාගත හැක. රැකියා ස්ථානයේ අත්දැකීම්, ස්වයං අධ්‍යයනය (මාර්ගගත ඉගෙනීම) ආදිය මඟින් ඔබව ඊළඟ මට්ටම වෙත ඔසවා තබනු ඇත. නිර්මාණශීලීත්වය, ව්‍යාපෘති හා උපායමාර්ග ගොඩනැඟීම සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔබ සතු කාර්ය සාධන හැකියා ඔබේ වෘත්තීය ප්‍රගතියට සෘජුව බලපානු ඇත. තවද සාමාන්‍යයෙන් මෙය සාමූහික ප්‍රයත්නයක් බැවින් අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම, මුලපිරීම ආදී කුසලතා ද ඔබේ ප්‍රගතියට බලපානු ඇත.

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

රැකියා ඇබෑර්තු දැන්වීමකට ප්‍රතිචාරයක් ලෙස හෝ කිසියම් සම්බන්ධතාවයක් මඟින් ඔබට අලෙවිකරණ රැකියාවක් සඳහා ඉල්ලුම් කළ හැක. කණිෂ්ඨ මට්ටමේ තනතුරක් සඳහා අයදුම් කිරීමේ දී අලෙවිකරණ ප්‍රධානියා හෝ මානව සම්පත් කළමනාකරු හමුවේ ඔබට සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දීමට සිදුවිය හැක. ක්ෂේත්‍රයේ සේවය කිරීමේ දී ඔබ රැස්කර ගත් අත්දැකීම් සහ ආගන්තුක සත්කාරය පිළිබඳව ඔබ දක්වන කැමැත්ත ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය වනු ඇත. අනාගතයේ ආගන්තුකයන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීමට හෝටලය මඟින් සිදුකල හැකි අලෙවිකරණ සහ ප්‍රවර්ධන අදහස් පිළිබඳ ඔබෙන් විමසීමට ඔවුන් උනන්දු වනු ඇත. එබැවින් ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් කිරීම හා සූදානම් වීම වඩා යහපත් ය. හෝටලයක ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා දැනුමක් සහිත බව සහතික කිරීම සඳහා ඔබට අලෙවිකරණය නොවන රැකියාවක කෙටි කාලීන පුහුණුවක් සම්පූර්ණ කිරීමට සිදුවිය හැක. විශේෂයෙන් ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන දිනවල ඔබගේ වැඩකරන පැය ගණන දිර්ඝ විය හැක.

වැටුප්

අලෙවිකරණ භූමිකාව සාමාන්‍යයෙන් ආයතනික භූමිකාවක් වේ. කෙසේ වෙතත් දැවැන්ත හෝටල්වල එම හෝටලය මත පදනම්ව අලෙවිකරණ තනතුරු පවතී. හෝටලයේ සේවය කරන්නන්ට සේවා ගාස්තු අයකළ හැක. මෙම ක්ෂේත්‍රයේ වැටුම රු. 40,000 සිට 45,000 දක්වා වන නමුත් ඔබ පියවරෙන් පියවර ජ්‍යෙෂ්ඨ තනතුරු දක්වා උසස් වන විට වැටුප සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.