ටිකට්පත් නියෝජිතයන්

ටිකට්පත් නියෝජිතයන් ගුවන් තොටුපල කවුන්ටරවල හෝ ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන වෙනත් නම් කරන ලද අ‌ලෙවි මධ්‍යස්ථානවල සේවය කරයි. ඔවුන් සංචාරක සමාගම් සඳහා සහ ඇතැම් විට විශාල හෝටල් සඳහා පවා සේවය කළ හැකිය. ටිකට්පත් නියෝජිතයන් විසින් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීම සඳහා සහය වේ. ඔවුන් ටිකට්පත් වෙන්කර ගැනීමේ හැකියාව සහ මිල ගණන් ආදීය පිළිබඳ තොරතුරු සපයයි.

1. රැකියා භූමිකාවන්

මෙම ක්‍ෂේත්‍රය තුළ සිටින බොහෝ දෙනෙක් අභ්‍යාසලාභී තනතුරුවලින් ආරම්භ වී පසුකාලීනව අත්දැකීම් මත පදනම්ව ජ්‍යේෂ්ඨ තනතුරු දරති. වැටුප් පරිමාණය සමාගමෙන් සමාගමට වෙනස් විය හැකි අතර ඇතැම් සංවිධාන ටිකට්පත් නියෝජිතයන් විදේශ පුහුණු සඳහා ද යොමුකරයි.

2. වෘත්තීමය ප්‍රගතිය

මෙම වෘත්තිය සඳහා පැහැදිලිව අර්ථ දක්වා ඇති උසස්වීම් මාලාවක් නොමැත. ඔබ ටිකට්පත් නියෝජිතයෙකු ලෙස සේවය කරන තාක් කල්, විමසීම් හැසිරවීම, විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ සංචාරකයින්ට ඔවුන්ගේ ගමන් සැලසුම සකස් කරගැනීමට උපකාර කිරීම ආදිය පිළිබඳ ඔබ වඩාත් පළපුරුදු අය බවට පත්වේ. එමඟින් ඔබට ජ්‍යේෂ්ඨත්වය අතින් ඉහළ යා හැකි නමුත් ඔබේ තනතුර වෙනස් වනු ඇතැයි සිතිය නොහැකිය.

3. දැනුම හා කුසලතා

වෙනත් බොහෝ රැකියා මෙන්ම, මෙම වෘත්තිය සඳහා ද ඔබේ සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කර තිබිය යුතුය. ඉන්පසුව, පරිගණකයක් ක්‍රියාත්මක කිරීම, ටිකට්පත් වෙන්කිරීමේ විශේෂ පද්ධති භාවිත කිරීම වැනි තාක්‍ෂණික කුසලතා ඔබ ලබා ගත යුතුය. ජාත්‍යන්තර ගුවන් ටිකට්පත් ඇකඩමිය (International Airline Ticketing Academy) රටේ වඩාත් පිළිගත් ආයතනයක් වන අතර, මෙම ක්ෂේත්‍රයේ වෘත්තියක් වෙත යොමුවීම සඳහා ඔබට උපකාරී වන පාඨමාලා රාශියක් එහි වේ. ඔබට නිසැකවම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් පැවතිය යුතුය, මන්ද ඔබට ක්‍රියා කිරීමට සිදුවන බොහෝ පද්ධති ඉංග්‍රීසි භාෂාවෙන් සකසා ඇති බැවිනි.

3.1 නිපුණතා

4. බඳවා ගැනීමේ ක්‍රියාවලිය

සංචාරක මාර්ගෝපදේශක වැනි වෙනත් රැකියා කාණ්ඩ මෙන්ම, ඔබ ඔබේ පුහුණුව සම්පූර්ණ කර සහතිකයක් අතැතිව සිටීනම්, ඔබ රැකියාව භාර ගැනීමට සූදානම් ලෙස සැලකේ. මෙම ක්ෂේත්‍රයේ රැකියා සාමාන්‍යයෙන් වඩා සැලසුම්ගත වන අතර ඔබ දිනකට වැඩ කරන පැය ගණන කලින් තීරණය වනු ඇත. ඔබ ඉල්ලුම් කරන සංවිධානයේ විශාලත්වය අනුව, ඔබව මානව සම්පත් කළමනාකරු හෝ කළමනාකාර අධ්‍යක්ෂ විසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කළ හැකිය.

5. වැටුප් පරිමාණය

ඔබ සේවය කිරීමට ඉල්ලුම් කර ඇති සමාගම සහ ඔබ සතුව ඇති පළපුරුද්ද අනුව ඔබේ වැටුප රුපියල් 30,000 ඉක්මවිය හැකිය. නොමිලේ චාරිකා, ගුවන් ටිකට් පත් සඳහා වට්ටම් සහ සමාගම විසින් පිරිනමන දීමනා වැනි වෙනත් දිරිගැන්වීම් ද තිබිය හැකිය. රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයේදී ඔබට එම තොරතුරු ඉල්ලා සිටිය හැකිය. ඔබ නිසි පුහුණුවක් ලබා ගැනීම සඳහා ඔබව මාස හයක පරිවාස කාලයකට යටත් කරනු ඇත.