එළිමහන් සහ ක්‍රියාකාරකම් මාර්ගෝපදේශකයන්

ශ්‍රී ලංකාව, ජලාශ සහ කඳු වලින් පිරුණු, සංචාරකයින්ට මෙන්ම දේශීය ජනතාවට ත්‍රාසජනක ක්‍රීඩා සඳහා සහභාගී විය හැකි පාරාදීසයකි. කිමිදීම, සර්ෆින්, ස්නොර්ක්ලින්, වයිට් ‌වෝටර් රාෆ්ටිං, රුවල් ඔරු පැදීම, කඳු නැගීම, දීර්ඝ පා ගමන් සහ තවත් බොහෝ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ඇති අවස්ථාවන් මෙරට වර්ධනය වෙමින් පවතී.

ඔබ ත්‍රාසජනක දෙයට කැමති අයෙක් නම් හෝ ත්‍රාසජනක ක්‍රීඩාවලින් ලබන තෘප්තියට ඇලුම් කරන්නේ නම්, සංචාරක කර්මාන්තය තුළ මෙම අංශයේ රැකියාවක් ඔබට හොඳින් ගැලපේ. ඔබට ලද හැකි රැකියා අවස්ථා සහ අනාගතයේ ඇතිවිය හැකි අවස්ථා මොනවාදැයි බලමු.

මෙම කර්මාන්තයේ රැකියා එක් එක් ගමනාන්තයට සහ සුවිශේෂී ක්‍රියාකාරකම් අනුව වෙනස් වේ. නිදසුනක් වශයෙන්, අරුගම්බේ හි පිහිටි සර්ෆින් සමාගමක්, සර්ෆ් කිරීම පිළිබඳ සහතික ලත්, තරගවලට සහභාගී වූ රළ පැදීමේ උපදේශකයින් බඳවා ගැනීමට උත්සුක වෙනවා මිස දීර්ඝ පා ගමන් යාම පිළිබඳ අත්දැකීම් ඇති අයෙක් බඳවා ගන්නේ නැත.

වගකීම්

සර්ෆින් කිරීම

සර්ෆින් උපදේශක/මාර්ගෝපදේශක: සර්ෆින් ඉගැන්වීම සඳහා ඒ සම්බන්ධ ප්‍රමාණවත් අත්දැකීම් තිබිය යුතුය. ඔබ ජාත්‍යන්තර හෝ දේශීය ඉසව්වලට සහභාගී වී ඇත්ද, ඔබට ඉගැන්වීමේ පළපුරුද්ද තිබේද සහ ඔබ කොපමණ කාලයක් සර්ෆින් කළේද යන්න දැනගැනීමට සේවායෝජකයින්ට අවශ්‍ය වෙනු ඇත. උපකරණ නඩත්තු කරන්නේ කෙසේද යන්නත් පුහුණු පාසලේ හෝ වෙළඳසැලේ භාණ්ඩ විකිණීම සඳහා සහාය වීමටත් ඔබ දැන සිටිය යුතුය.

කිමිදීම

කිමිදුම් උපදේශක: දිය යට කිමිදුම්කරුවන්ට දේශීය පුහුණු පාසල්වල ද ඉගැන්වෙන, කිමිදුම් පිළිබඳ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය හා පුළුල් ලෙස පිළිගත් පාඨමාලාව වන PADI සහතිකය තිබිය යුතුය. ඔබට පිහිනීම හා ශාරීරික යෝග්‍යතාව වැනි කුසලතා තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබට ගුරුවරයකු ලෙස සුදුසුකම් ලැබීමට පෙර ගත යුතු පියවර කිහිපයක් තිබේ. ඒ සඳහා හොඳම ස්ථානය ඔබ ආසන්‍නයේ ඇති PADI මධ්‍යස්ථානය යි.

ඇවිදීම සහ කඳු නැගීම

ත්‍රාසජනක ක්‍රීඩා මෙන් ඇවිදීම සහ කඳු නැගීම සඳහා විශේෂ කුසලතා අවශ්‍ය නොවේ. නමුත් ඊට දේහ ශක්තිය හා දරාගැනීමේ හැකියාව අවශ්‍ය වේ. ඇවිදීම යනු ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය එළිමහන් ක්‍රියාකාරකම් වලින් එකකි. මෙම ක්ෂේත්‍රයේ රැකියා අතරට කඳු නැගීමේ මාර්ගෝපදේශක තනතුර ඇතුළත් වේ. ඔබ නිසැකවම භූමිය හා මාර්ග පිළිබඳව හුරුපුරුදු බව අපේක්ෂා කරනු ඇති අතර මූලික ප්‍රථමාධාර කුසලතා ද තිබිය යුතු වේ.

තල්මසුන් නැරඹීම

ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිතව තල්මසුන් විශාල ප්‍රමාණයක් සැරිසරයි. මෙම අංශයේ රැකියා සුදුසුකම් ලෙස මඟ පෙන්වීම, බෝට්ටුවක් පැදයාම හෝ මෙම ක්ෂීරපායින් සහ ඔවුන්ගේ වාසස්ථාන පිළිබඳ තොරතුරු විස්තර කර දීම යනාදිය ඇතුළත් වේ. ඔබ මෙම ක්‍ෂේත්‍රයේ රැකියාව කිරීමට කැමති නම්, තල්මසුන් නැරඹීමේ ක්‍රියාකාරකම්වල යෙදෙන සමාගමත් අමතා, රැකියා අවස්ථාවන් සහ අවශ්‍ය සුදුසුකම් පිළිබඳව වැඩිදුර දැන ගැනීම කළ යුතු වේ.

වෙනත් ක්ෂේත්‍ර:

  1. වයිට් ‌වෝටර් රාෆ්ටිං
  2. වායු බැලූන පැදීම
  3. ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම
  4. රුවල් ඔරු පැදීම
  5. ඔරු පැදීම
  6. වින්ඩ් සර්ෆින්

දැනුම හා කුසලතා

ඔබට අවශ්‍ය දැනුම හා සුදුසුකම් එක් රැකියාවකින් තවත් රැකියාවකට වෙනස් වේ. ඇතැම් ඒවාට සර්ෆින් කිරීමේ හැකියාවත්, තවත් එකකට කිමිදුම් කටයුතු පිළිබඳ සහතිකයක් අවශ්‍ය වනු ඇත. කුසලතා සඳහා ද එසේම ය. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. ඒ, මේ සෑම අංශයකදීම සංචාරකයින් සමඟ ඍජුව සන්නිවේදනය කළ යුතු බැවිනි. අවශ්‍ය අනෙකුත් නිපුණතා එක් එක් රැකියාව අනුව වෙනස් වේ.

නිපුණතා

බඳවා ගැනීමේ ක්‍රියාවලිය

බඳවා ගැනීමේ ක්‍රියාවලිය සේවායෝජකයාගෙන් සේවායෝජකයාට මෙන්ම ක්‍රියාකාරකම් අනුව ද වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් සිදු වන්නේ, මානව සම්පත් නියෝජිතයෙකු සමඟ හෝ ව්‍යාපාරයේ හිමිකරු සමඟ සෘජුව සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම යි. ඔවුන් ඔබේ කුසලතා, පළපුරුද්ද සහ ක්‍රියාකාරකම් හෝ ක්‍රීඩාව පිළිබඳ උනන්දුව තක්සේරු කරනු ඇත.

වැටුප

ආගන්තුක සත්කාර සහ සංචාරක අංශයේ අනෙකුත් රැකියා මෙන්ම, එළිමහන් හෝ ත්‍රාසජනක ක්‍රීඩාවල නියුතු අයගේ වැටුප සමාගමෙන් සමාගමට සහ නිපුණතා ප්‍රමාණ අනුව වෙනස් වේ. ඔබට රු. 40,000 සිට රු. 100,000 හෝ ඊට වැඩි වැටුපක් අපේක්ෂා කළ හැකි ය.