අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය

සම්ප්‍රදායිකව පිළිගැනීමේ ස්ථානය ලෙසින් හැඳින්වෙන අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය හෝටලයේ වඩාත්ම කැපී පෙනෙන අංශයයි. එය හෝටලය පිළිබඳව අමුත්තාගේ පළමු හැඟීම සඳහා බලපාන අතර අමුත්තන්ට උණුසුම් පිළිගැනීමක් සමඟ අමුත්තන්, හෝටලයට වටිනා බව දැනවීමට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනා වගබලාගත යුතුය. මීළඟ වතාවේ ඔබ හෝටලයකට ගිය විට, එහි කාර්ය මණ්ඩලය සැරසී සිටින අකාරයෙහි වෙනස්කම් සහ අමුත්තන් පිළිගැනීමේ කාර්යාල පරිශ්‍රයේ වන සිත් ඇඳගන්නා වාස්තු විද්‍යත්මක අංගයන් කෙරෙහි අවධානය යොමුකරන්න.

අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය අතිශය කාර්යබහුල ස්ථානයකි. අමුත්තන් පිළිගැනීමේ කාර්යාලයේ වැඩකරන අයට ඇති වගකීම් අතර; අමුත්තන් පිළිගැනීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම, හෝටලය පිළිබඳ ධනාත්මක හැඟීමක් ලබා දීම හා ගැටළු විසඳීම ආදිය පමණක් නොව ස්විච් පුවරුව, ගිණුම්, මුදල් අයකැමි, රාත්‍රී විගණන සහ ආගන්තුක සබඳතා ඇතුළු බොහෝ කාර්යයන් ඇත.

1. රැකියා භූමිකා

ප්‍රවේශ මට්ටම

පිළිගැනීමේ නිලධාරි: අමුත්තන්ට ආචාර කිරීම, දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීම, අමුත්තන්ගේ විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීම සහ සමස්තක් ලෙස අමුත්තන්ට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීමේ වගකීම ඇත.

බෙල් බෝයි: ප්‍රථමයෙන්ම අමුත්තන්ට ආචාර කර පිළිගෙන ඔවුන්ගේ ගමන් මලු රැගෙන යාමට සහය වීම මොවුන් අතින් සිදුවේ. සමහරවිට අමුත්තන්ව කාමරවලට කැටුව යන්නේද ඔවුන් විසිනි. ඔවුන් වැඩ කරන්නේ බෙල් කැප්ටන් යටතේය.

ආධුනික / අභ්‍යාසලාභී: මෙම පුද්ගලයන් රැකියාවෙහි යෙදී සිටින අතරතුරදී අමුත්තන් පිළිගැනීමේ කාර්යාලයේ විවිධ කාර්යයන් තවමත් ඉගෙන ගනිමින් සිටී.

අධීක්ෂණ මට්ටම

ආගන්තුක සම්බන්ධතා නිලධාරී: අමුත්තන් පිළිගැනීමට අමතරව, ආගන්තුක සම්බන්ධතා නිලධාරියා විසින් අමුත්තන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් ද කටයුතු කරයි. බොහෝ විට, මෙම නිලධාරීන් සියලු අමුත්තන්ව නමින් හඳුනන අතර ඔවුන් දකින සෑම විටම ගොස් ඔවුන් සමඟ කතා කරති.

බෙල් කැප්ටන්: වැඩ කාලසටහන් සැකසීම, රාජකාරි පැවරීම සහ එදිනෙදා වැඩ අධීක්ෂණය කිරීම ආදිය මඟින් බෙල් කාර්ය මණ්ඩලය කළමනාකරණය කරන්නේ බෙල් කැප්ටන්වරුන් විසිනි. ඔවුහු හෝටල් සහායක සේවක (Concierge) යටතේ සේවය කරති.

සහායක සේවය: ඔහු නිශ්චිත මේසයකට සීමා නොවන නමුත් නිරන්තරයෙන් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය ඕනෑම අමුත්තෙකුට උපකාර කිරීමට සූදානමින් සැදී පැහැදී සිටිනු ඇත. බොහෝ විට, අමුත්තන් හෝටලය සහ එහි වටපිටාව (සුන්දර දර්ශන නැරඹීම / ගුවන්තොටුපල ආදිය) පිළිබඳ තොරතුරු විමසීම සඳහා යොමුවන්නේ ඔහු වෙතය.

විධායක මට්ටම

වෙන්කිරීම් විධායක (Reservations Executive): සියලුම දුරකථන, විද්‍යුත් තැපැල්, අන්තර්ජාල සහ පුද්ගල විමසීම් සඳහා මොහු විසින් කාර්යක්ෂමව හා ආචාරශීලීව ප්‍රතිචාර දැක්විය යුතුය. ස්ථාපිත ක්‍රමවේදයන්ට අනුව කාමර වෙන්කිරීම් සම්බන්ධ තොරතුරු පැහැදිලිව සහ සම්පුර්ණ ලෙස සටහන් කර ඇතිබවටත්, ඒවා නිවරදිව මෙන්ම කාර්යක්ෂමව පද්ධතියට ඇතුළත් කර ඇති බවටත් ඔවුන් විසින් සහතික කළ යුතුය.

අමුත්තන් පිළිගැනීමේ කාර්යාල විධායක (Front Office Executive): මෙය කළමනාකාර තනතුරකි. එනම් අමුත්තන් පිළිගැනීමේ කාර්යාල කටයුතු වලට අමතරව පණිවිඩ වර්ග කිරීම, දත්ත ගොනු කිරීම සහ දත්ත ඇතුළත් කිරීම ඇතුළු ලිපිකාර මෙන්ම පරිපාල කටයුතු සම්බන්ධයෙන් විධායකවරයාට අත්දැකීම් තිබිය යුතු බැවිනි.

ආගන්තුක සබඳතා විධායක (Guest Relations Executive): ඇතුළුවීමේදී ඔවුන් අමුත්තන් සාදරයෙන් පිළිගනී, තවද, පැමිණිලි සහ ගැටළු කාර්යක්ෂමව හා කාලෝචිත ලෙස හසුරුවයි. ප්‍රභූ අමුත්තන්ගේ පැමිණීම් සහ පිටත්වීම්ද ඔවුන් අදීක්ශනය කරයි.

අමුත්තන් පිළිගැනීමේ කාර්යාල සහකාර කළමනාකරු: අමුත්තන් පිළිගැනීමේ කාර්යාල කළමනාකරුට සහාය වෙයි, සියලුම අමුත්තන්ට නිසි සහ පුද්ගලික පිළිගැනීමක් ලැබෙන බවට වග බලා ගනී, සහ අමුත්තන් පිළිගැනීමේ කාර්යාල මෙහෙයුම් පිළිබඳවත් කටයුතු කරයි.

රාත්‍රී රාජකාරි කළමණාකරු: අමුත්තන් පිළිගැනීමේ කාර්යාල මෙහෙයුම්, රාත්‍රී විගණන, අමුත්තන්ගේ සහ හෝටල් ආරක්ෂාව තහවුරු කිරීම සහ නිරන්තරයෙන් උසස් තත්ත්වයේ සේවයක් සැපයීමට සහතික වීම ඇතුළු රාත්‍රී වැඩ මුරය තුළ හෝටලයේ සිදුවන සියලු කටයුතු සඳහා වගකිව යුතු සෑම මොහොතකම රාජකාරියේ නියුතු කළමනාකරු වන්නේ ඔහු/ඇයයි.

අමුත්තන් පිළිගැනීමේ කාර්යාල කළමනාකරු: කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම හා පුහුණු කිරීම් මෙහෙයවන අතර අමුත්තන් පිළිගැනීමේ කාර්ය මණ්ඩලය වෘත්තීය මට්ටමේ සේවාවක් සපයන බවට වගබලා ගනී. ඔවුන් පාරිබෝගිකයන් සමඟ ගනුදෙනු කරමින් පැමිණිලි සහ හදිසි අවස්ථා සඳහා මැදිහත් වේ.

නේවාසික කළමනාකරු: නේවාසික කළමනාකරු යනු හෝටල් පරිශ්‍රයේ ම වාසය කරන කළමනාකරු ය. ඔහු/ඇය දිවා රාත්‍රී ඕනෑම වේලාවක සිදුකරන හදිසි ඇමතීමකදී හෝටලයේ සුමට හා ලාභදායී පැවැත්ම සඳහා සාමාන්‍යාධිකාරීවරයා හට සහාය විය යුතුය. නේවාසික කළමනාකරුවන් ඇතැම් විට ක්ශේත්‍රය තුළ වාසය කරන, සාමාන්‍යාධිකාරීවරුන් වීමටද ඉඩ ඇත.

සාමාන්‍යාධිකාරී: කාර්ය මණ්ඩලය සහ අමුත්තන් කළමානාකරණය ඇතුළු එදිනෙදා හෝටලයේ සිදුවන සියලු මෙහෙයුම් සඳහා සාමාන්‍යාධිකාරීවරයා වගකිව යුතුය. විශිෂ්ට ආගන්තුක සත්කාරයක් පිරිනැමීම සඳහාත් හෝටලයෙහි ඉදිරි ඉලක්ක ළගා කර ගැනීම සඳහාත්, හෝටල් කළමනාකරණ කණ්ඩායම නිසි පරිදි මෙහෙයවීම හා සම්බන්ධ සමස්ත වගකීම සාමාන්‍යාධිකාරීවරයා සතුය.

2. වෘත්තිමය ප්‍රගතිය

අමුත්තන් පිළිගැනීමේ කාර්යාල අංශය යනු වඩාත් කාර්යබහුල නමුත්, හෝටල් කර්මාන්තයේ හිමිපෙත්තට ගමන් කිරීමට පහසුම දෙපාර්තමේන්තුවකි.

ඔබ හෝටල් හා සංචාරක ක්‍ෂේත්‍රයේ වෘත්තීමය තත්වයක් ගොඩනගා ගැනීම වැදගත් කොට සලකන්නේ නම් සහ යම් දිනෙක කළමනාකරුවෙකු වීමට සිහින මවන්නේ නම්, ඔබට ජනතාව හැසිරවීමට සහ ගැටලු විසඳීමට කුසලතා පවතින්නේ නම්, මෙය ඔබ සඳහා ම ගැළපෙන අංශය විය හැකිය.

2.1 උසස්වීම්

ඔබ මූලික මට්ටමේ සිට ආරම්භ කරන්නේ නම්, රාජකාරි පැවරීමට පෙර ඔබව මාස හයක පරිවාස කාලයකට හෝ පුහුණුවට යොමු කරනු ලැබේ. ඔබ එය නිම කළ පසු, මීලඟ උසස්වීම සඳහා මාස හයේ සිට අවුරුද්දක් දක්වා කාලයක් ගත වේ. හෝටල්වල උසස්වීම්, බොහෝ දුරට පුරප්පාඩු මත රඳා පවතී. ඔබ වාසනාවන්ත නම් ඔබ සිතුවාට වඩා ඉක්මනින් ඉදිරියට යා හැකිය.

ඔබේ උසස්වීම් සඳහා බලපාන අනෙකුත් ප්‍රධාන දර්ශකයන් වන්නේ වෙලාවට වැඩ කිරීම, අවංකකම, නම්‍යශීලී බව (ඔබට පීඩනය/බහු කාර්යයන් සිදු කළ හැකිද), මනසේ ස්වභාවය (ඔබ සැමවිටම නොසන්සුන් මනසින් සිටින්නේද), පිරිස සමඟ කටයුතු කිරීමේ කුසලතා (ඔබත් සමඟ සමීපව කටයුතු කළ හැකිද).

එනමුත් සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔබේ කාර්ය සාධනයි. ඔබෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතු අතර එම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙසී කටයුතු කළ යුතුය. ඔබේ කාර්යසාධනය ධනාත්මක නොවන්නේ නම් හෝ ඔබ තුළ ඒ වෙනුවෙන් කැපවීමක් නොපවතින්නේ නම්, එය ඔබේ දියුණුවට බාධාවක් වෙනු ඇත.

3. දැනුම හා කුසලතා

ඔබ සතුවන අධ්‍යාපනික හෝ වෘත්තීමය සුදුසුකම් වලට වඩා ඔබේ කුසලතා වෙනස් බව සැමවිටම මතක තබා ගන්න. අධ්‍යාපනය යනු විෂය කරුණු පිළිබඳව ඔබ ශාස්ත්‍රීය පැතිකඩින් දන්නා දේ වන අතර ඔබේ රාජකාරි නිසි ලෙස ඉටු කිරීම සඳහා ඔබට උපකාරී වන්නේ කුසලතාවන්ය.

3.1 දැනුම

ඔබට වැදගත්වන දැනුම හා කුසලතා කට්ටලය දෙස බැලීමට පෙර, ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය සඳහා වන අවශ්‍යතා අතර මනා ඉංග්‍රීසි භාෂා දැනුමක් තිබීම ප්‍රමුඛ වන බව සඳහන් කළ යුතුය. ඉංග්‍රීසි භාෂාව විශ්ව භාෂාවක් වන අතර එය ශ්‍රී ලංකාවේ ද බහුලව භාවිත වේ. එමනිසා, දේශීය අමුත්තන් පවා බොහෝ විට පළමුව ඉංග්‍රීසියෙන් කතා කිරීමට නැඹුරු වෙති.

මෙයින් අදහස් වන්නේ මෙම අංශයේ සේවයේ යෙදීම සඳහා භාෂා ඥාණය වැදගත් වන බවයි. නමුත්, ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොමැතිකම අධෛර්යමත් වීමට හේතුවක් නොවේ, මන්ද හෝටල් ක්ෂේත්‍රය සඳහාම වන මූලික ඉංග්‍රීසි ඉගෙනීමට උපකාරී වන පාඨමාලා බහුලව පවතින බැවිනි. ඉංග්‍රීසි ඉගෙනීම වැදගත් වන්නේ මේ ක්ෂේත්‍රය සඳහා පමණක් නෙව, ඔබ විශිෂ්ටත්වය වෙත ගමන්කිරීමට කැමති ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා එය වැදගත් වනු ඇත.

ප්‍රවේශ මට්ටම

අවම මට්ටම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ සුදුසුකම් අත්‍යවශ්‍ය වේ. ඔබට අ.පො.ස උසස් පෙළ සුදුසුකම් තිබේ නම් එය වාසියක් වනු ඇත. ඔබ සතුව මෙම සුදුසුකම් කිසිවක් නොමැති නම්, ඔබට මෙම වෙබ් අඩවියේ පාඨමාලා යන කොටසේ දක්වා ඇති වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව පවතී.

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) යටතේ වෘත්තීය පුහුණු ආයතන විසින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් සඳහා වන පාඨමාලා වර්ග කර ඇත. අමුත්තන් පිළිගැනීමේ කාර්යාලය සඳහා ඔබට අ.පො.ස සාමාන්‍ය පෙළ මට්ටමෙන් ආරම්භ කළ හැකිය.

අධීක්ෂණ මට්ටම

අධීක්ෂණ මට්ටමින් ඔබේ වෘත්තිය ආරම්භ කිරීමට ඔබට අමුත්තන් පිළිගැනීමේ කාර්යාලයේ ඇතුළත් වීමේ මට්ටමේ කාර්යභාරය පිළිබඳ පූර්ව අත්දැකීම් අවශ්‍ය වේ. වසර කිහිපයක අත්දැකීම් තිබීම විශේෂයෙන් උපකාරී වනු ඇත. සහතිකපත්‍ර හෝ ඩිප්ලෝමා මට්ටමේ වෘත්තීය පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වනු ඇත. වෙබ් අඩවියේ පාඨමාලා කොටස යටතේ සුවිශේෂී අංශයන් ඉලක්ක කරගත් ශිල්පීය පාඨමාලා ද ඔබට සොයා ගත හැක.

විධායක මට්ටම

TVEC විසින් පිළිගත් ආයතනයකින් ලබාගත් ඩිප්ලෝමාවක් සමඟ වසර ගණනාවක පළපුරුද්දක් ඔබ සතු වේ නම්, එය විධායක තනතුරක් කරා යාමට ඔබට උපකාරී වනු ඇත. පූර්ව රැකියා ස්ථාන වෙත ඔබගේ දායකත්වය ලැබී ඇති ආකාරය පෙන්නුම් කිරීමෙන් සහ ඔබේ පෙර සේවා යෝජකයන් ඔබ ගැන සිදුකරන ඇගයීම් මඟින් ඔබේ වටිනාකම සනාථ කිරීමට අවශ්‍ය බව මතක තබා ගන්න. අධීක්ෂණ මට්ටමේ දී මෙන් නොව, ඔබ ඔබේ කණ්ඩායම මෙහෙයවූ ආකාරය විස්තරාත්මකව පැහැදිලි කිරීමට සිදුවේ. මෙම කරුණු ඔබේ හැඳින්වීමේදි පැහැදිලිව දැක්විය යුතුය. විධායක මට්ටමින්, ඔබ යටතේ බොහෝ කාර්ය මණ්ඩල සේවය කරනු ඇති අතර ඔබට ආදර්ශවත් නායකත්ව පෞරුෂයක් සහ ගැටළු විසඳීමේ කුසලතා තිබිය යුතුය.

3.2 නිපුණතා

4. බඳවා ගැනීමේ ක්‍රියාවලිය

ඔබ හෝටලයක සේවය කිරීමට අයඳුම් කර ඇත්නම්, ඔබව පුද්ගල මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ඇත. සම්මුඛ පරීක්ෂණයට පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් සහභාගී වන්නේදැයි අප නොදන්නා නමුත්, මානව සම්පත් හෝ මානව ප්‍රාග්ධන කළමනාකරු අනිවාර්යයෙන්ම ඒ සඳහා සහභාගී වේ. ඔවුන් නොමැති අවස්තාවකදී සහකාර කළමනාකරු විසින් ඔහුගේ/ඇයගේ ස්ථානය වෙනුවෙන් පෙනීසිටී. මෙම සම්මුඛ පරීක්‍ෂකවරයා ඔබේ පසුබිම පිළිබඳ සලකා බලා පෙර අත්දැකීම් මත පදනම්ව ප්‍රශ්න අසනු ඇත. ඔබ එක් එක් සංවිධානයන්හි කොපමණ කාලයක් සේවය කර ඇත්ද යන්න හෝ සේවා ස්ථානයෙන් ඉවත් වීමට හේතු වූ කරුණු ඔවුන් විසින් විමසනු ලැබේ. එය ඔබගේ පළමු රැකියාව නම්, සම්මුඛ පරීක්ෂණයේදී මානව සම්පත් නියෝජිතයාට ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳ දැනගැනීමට අවශ්‍ය විය හැක.

ඔබව තක්සේරු කිරීම සඳහා නිර්ණායක මාලාවක් ලබා දී ඇති බැවින් අනෙකුත් සම්මුඛ පරීක්‍ෂකවරුන් විවිධ අංශ ඔස්සේ ඔබව පරීක්ෂා කරනු ඇත. ඔවුන් විසින් ඔබේ පිරිසිදුකම හෝ හැසිරීම විනිශ්චය කරනු ලැබුවහොත් ඒ සඳහා කොපයට පත් නොවන්න. හෝටල් කර්මානතයේ දී එය ඉතා වැදගත් ය. ඔබ සියලු සම්මුඛ පරීක්‍ෂකවරුන්ගේ සිත් දිනාගත්තා නම් ඔබට ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකිය, එනමුත් ඔබ එසේ නොකළේ නම් සහ සම්මුඛ පරීක්‍ෂකවරුන් ඔබට පසුව දැනුම් දෙන බවට පැවසුවහොත්, අධෛර්යමත් නොවන්න. තීරණයක් ගැනීමට පෙර ඔවුන් ඉල්ලුම් කළ සෙසු පිරිස සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තක් දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවලදී ඔබට දෙවන හෝ තෙවන සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය හැකිය.

5. වැටුප් පරිමාණය

දිගු සේවා මුර, වෙහෙසී වී වැඩ කිරීම සහ දුෂ්කර අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම ආදිය හෝටලයක අමුත්තන් පිළිගැනීමේ කාර්යාල අංශයෙහි සේවය කිරීමේදි අත්‍යවශ්‍ය වේ. එනමුත් ඔබ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කැමති නම්, ඔබ දැඩි හා අධිෂ්ඨානශීලී පුද්ගලයෙක් නම්, ඔබට මෙය අනිවාර්යයෙන්ම හොඳ අවස්ථවකි.

අමුත්තන් පිළිගැනීමේ කාර්යාලයේ වැටුප් පරිමාණය හෝටලයේ වර්ගය, ප්‍රමාණය සහ ස්ථානය මෙන්ම එයට සේවය සැපයීමට හැකියාව පවතින ආගන්තුකයන් සංඛ්‍යාව ආදී කරුණු මත පදනම්ව වෙනස් වේ. ශ්‍රී ලංකාවේ ආරම්භක වැටුප රු.10 000 සිට රු. 15 000 දක්වා වේ. ඔබට සේවා ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ද හිමිවනු ඇත. ඔබ අධීක්ෂණ මට්ටමට යාමට පෙර ඔබ රු. 25 000 සිට රු. 30 000 ක පමණ වැටුමක් ලබාගත හැක.

අධීක්ෂණ මට්ටමේදී, ඔබට කිසිදු සේවා ගාස්තුවකින් තොරව රු. 30, 000 සිට රු. 35, 000 දක්වා වැටුපක් ගෙදර ගෙන යාමට හැකිවේ. ශ්‍රී ලංකාවේ කම්කරු නීතිවලට අනුකූලව EPF වැනි වෙනත් අඩු කිරීම් සිදුවිය හැක.

විධායක මට්ටමින් ඔබට රු. 35 000 සිට රු. 40 000 දක්වා ඉහළ වැටුපක් හිමිවේ. නැවතත්, මෙය හෝටලයේ ප්‍රමාණය, වර්ගය සහ ස්ථානය වැනි කලින් සඳහන් කළ සාධක මත රඳා පවතී. මෙම මට්ටමේදී ඔබට සේවා ගාස්තුවෙන් වැඩි ප්‍රතිශතයක් හිමිවේ.

සේවා ගාස්තු යනු කුමක්ද?

හෝටල් කර්මාන්තයේ යෙදී සිටින ඔබේ මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් සිටී නම් සහ ඔවුන් මෙහි සඳහන් කර ඇති ප්‍රමාණයට වඩා ඉහළ වැටුපක් ලබා ගන්නේ නම්, බොහෝ විට ඔවුන්ට ඉහළ සේවා ගාස්තුවක් ලැබෙනවා විය හැක.

සේවා ගාස්තු යනු සන්තෝසම් මුදලක් (tips) නොවන වැටුප් වන අතර එය සේවකයාට අයත් වේ. ඔබට 5% සිට 30% දක්වා හෝ සම්පූර්ණ 100% පවා ලබා ගත හැකිය. ඔබ රැකියාවට පා තබන විට එම ප්‍රතිශතය කුමක් වේදැයි විමසීමට වග බලා ගන්න.

Women in Tourism

Let her learn, let her explore, let her see the world

Sri Lanka's tourism industry offers a number of career opportunities for women. Here's a glimpse into some of them.

Watch Video