සංචාරක සන්ධානය: කෝවිඩ් -19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා අලුත් අත්දැකීම් සොයන සංචාරකයාගේ වැදගත්කම

16th ජූනි, 2020 News & Updates

ශ්‍රී ලංකා සංචාරක සන්ධානයේ (Sri Lanka Tourism Alliance) අති සාර්ථක වෙබ් සැසි මාලාවේ නවතම සැසියේ අවධානය යොමු වූයේ “අත්දැකීම් ආර්ථිකය – ශ්‍රී ලංකාව තිරසාරව යළි නගාසිටුවන්නේ කෙසේද සහ කර්මාන්තයේ සියලුම අංශ වල සංචාරකයන්ගේ වියදම් කිරීම් ඉහළ නංවන්නේ කෙසේද” යන්න පිළිබඳවය. වෙබ් සැසියේ විශේෂඥ මණ්ඩලයට ටුවරිස්ම් ඕස්ට්‍රේලියාහි (Tourism Australia)  හිටපු නියෝජ්‍ය සභාපති ඇන්ඩෲ ෆෙයාර්ලි;  ට්වෙන්ටි31 කන්සල්ටින් ඉන්කෝපරේෂන් හි (Twenty31 Consulting Inc.) හවුල්කරුවෙක් වන ඔලිවර් මාටින් සහ කයිට්සර්ෆිං ලංකා හි (Kitesurfing Lanka) සම-නිර්මාතෘ සහ හිමිකරු දිල්සිරි වැලිකල අයත්වූහ. සංචාරක කර්මාන්තය 2020 අගෝස්තු 1 වන දින සිට විදේශීය සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙන නිසා, වර්ථමානයේ  නිවාඩු ගත කිරීමට ඒන සංචාරකයින්ගේ ප්‍රධාන උවමනාවන් සහ සංචාරක ව්‍යාපාර සහ ගමනාන්ත වලට ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලිය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක්  සඳහා මේ සුදුසුම අවස්ථාවයි.

ඔලිවර් මාටින් සිය අවබෝධය බෙදා ගනිමින්, සංචාරකයින්ගේ පරිභෝජන හැසිරීම මත පදනම්ව වර්ග දෙකක සංචාරකයින්ගේ අභිප්‍රේරණයන් ඉස්මතු කළේය. සමහර සංචාරකයින් උනන්දු වන්නේ, අයිෆල් කුළුණ, මහා බාධක පරය (Great Barrier Reef) හෝ සිගිරිය පර්වතය නැරඹීම වැනි  දිවිය තුළ සිදුකිරීමට ඔවුන් බලාපොරොත්තු වූ දෑ ලැයිස්තුවක් සමිපූර්ණ කිරීමටය (material consumption). එහෙත් සමහර  සංචාරකයින් සොයා යන්නේ අත්දැකීම් සහ චිත්තවේගීය සම්බන්ධතාවයන්ය (emotional consumption). පර්යේෂණ පෙන්වා දෙන පරිදි, පළමු කාණ්ඩයේ සංචාරකයින්ට වඩා ඉක්මණින් දෙවන කාණ්ඩයේ සංචාරකයින්, කෝවිඩ් –19 වසංගතයෙන් පසු සංචාරක ගමනාන්ත කරා නැවත ඒනු ඇත. ‌මෙම සංචාරකයින් විවිධ ස්ථානවලට යන්නේ ඔවුන්ට සංචාරය කිරීමට සිතේ විශාල ආශාවක් ඇති බැවිනි. ඔවුන් ගමනාන්තය වෙත ආපසු යන්නේ ඔවුන් ගමනාන්තය සහ එහි ප්‍රජාව සමඟ චිත්තවේගීය සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති බැවිනි.

‌මෙම සංචාරකයින් සොයන්නේ, සංචාරක ව්‍යාපාරයන් විසින් සකසන ලද අත්දැකීම් නොව, යම් කිසි ගමනාන්තයක ජීවත් වන ප්‍රජාව හා සංස්කෘතිය සමඟ සැබවින්ම සම්බන්ධ වීමට ඉඩ සලසන අව්‍යාජ, අන්තර්ක්‍රියාකාරී,  සැබෑ මිනිස් අත්දැකීම්ය. ඉතා සරළව කිවහොත්, මෙම සංචාරකයින් වායුසමීකරණය කරන ලද සුවපහසු සංචාරක බස් රථයක් තුල සිට, සංචාරක ව්‍යාපාරයන් විසින් සකස් කරන ලද ගමනාන්ත වලට යනවා වෙනුවට, ප්‍රජාවේ සංස්කෘතිය හා එදිනෙදා ජීවිතය අත්විඳීමට ඉඩ සලසන අත්දැකීම් වලට වැඩි ආශාවක් දක්වයි.

ටුවරිස්ම් ඕස්ට්‍රේලියාහිදී  තමා ලද අත්දැකීම් ගැන කතා කරමින් ඇන්ඩෲ ෆෙයාර්ලි, වෙළඳපල වෙත ගොස් පාරිභෝගිකයින්ට අවශ්‍ය දේ සහ ඔවුන් ගමනාන්තයක් වටහා ගන්නේ කෙසේද යන්න විමසීමට සමීක්ශන  අවධානය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. පාරිභෝගිකයින් සමඟ මානසික  සම්බන්ධතා ඇති කර ගැනීමෙන්, ආහාර හා වයින් සඳහා ලෝකයේ සිව්වෙනුව වඩාත්ම පිළිගැනීමට ලක්වූ රට බවට ඕස්ට්‍රේලියාව පත්වූ බව ඔහු පැවසීය. කලකට පෙර, ඕස්ට්‍රේලියාව සිය ආහාර හා වයින් පිරිනැමීම පිළිබඳව හොඳ පිළිගැනීමක් ඇති නමුත් ගෝලීය ශ්‍රේණි වල පහළ තලයේ සිටින බව පර්යේෂණ අධ්‍යයනයකින් හෙළි වූ බව පැවසූ ඔහු, ඒයින් පසුව ඕස්ට්‍රේලියාව, පාරිභෝගිකයින් සමඟ මානසික  සම්බන්ධතා ඇති කර ගැනීමට විවිධ ක්‍රියාදාමයන් ගත අතර, ආහාර හා වයින් සඳහා ලෝකයේ සිව්වෙනුව වඩාත්ම පිළිගැනීමට ලක්වූ රට බවට ඕස්ට්‍රේලියාව පත්වූයේ ඒලෙස බව ඔහු පැවසීය.

සිය අදහස් බෙදාහදා ගනිමින් දිල්සිරි වැලිකල පැවසූයේ, වසර පුරාම අමුත්තන් ගමනාන්තයකට ගෙන ඒම වැදගත් බවයි. එවිට ව්‍යාපාර සහ ඒ මත යැපෙන ප්‍රජාවන් වෙත ආදායම් ලැබෙන්නේ මාස කිහිපයකට පමණක් නොවේ. තවද කිසියම් ගමනාන්තයක් එක් දෙයක් සඳහා පමණක් ප්‍රසිද්ධිවී සිටිය යුතු නැති බව ඔහු විශ්වාස කරයි. මෙවිට ආකර්ශනය කරගත හැකි අමුත්තන් සීමා වේ. ව්‍යාපාරයකට ගමනාන්තයේ මූලික ආකර්ශනය කේන්ද්‍රකොට ගනිමින් අත්දැකීම් ගණනාවක් සකස්කර ගත හැකි නම්, එම ගමනාන්තයට විශාල ආගන්තුකයන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගන්නවා පමණක් නොව, වසර පුරා අමුත්තන්ගේ පැමිණීම සහතික වෙයි.

 

ඔලිවර්ට අනුව, අලුත් අත්දැකීම් සොයන පුද්ගලයන් (experiential traveller),  සංචාරක ප්‍රජාවෙන්  තුනෙන් එකක් පමණ වේ. තවද, පශ්චාත් COVID-19 පරිසරය තුළ සංචාරය කිරීමට කැමති කාණ්ඩය මොවුන් බව පර්යේෂණවලින් පෙනී යයි. එබැවින්, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට මෙන්ම සංචාරක බලධාරීන්ට, අලුත් අත්දැකීම් සොයන පුද්ගල වෙළඳපොළ කෙරෙහි සැබවින්ම අවධානය යොමු කිරීමට සහ රටේ සංචාරක අත්දැකීම් ආර්ථිකය වර්ධනය කිරීමට මෙය හොඳ කාලයකි.

මෙවැනි අර්බුදයකදී බොහෝ දෙනාට සිතෙන්නේ සේවාවේ මිල අඩු කිරීමටයි. කෙසේ වෙතත්, දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස, ශ්‍රී ලංකාව එහි නිෂ්පාදන පිරිනැමීම අවතක්සේරු නොකිරීමට වගබලා ගනිමින්, ලබා දෙන සේවාවේ වටිනාකම පිළිබිඹු වන පරිදි මිල නියම කළ යුතුය. අපගේ පරමාර්ථය විය යුත්තේ අර්ථවත් අත්දැකීම් සඳහා වැඩිපුර වියදම් කිරීමට කැමති පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම බව ඔලිවර් අවධාරණය කරයි.

වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය,  එකම සංචාරක පිරිසක් ආකර්ශනය කිරීම සඳහා තරඟ වදින අනෙකුත් කලාපීය ගමනාන්තයන්ගෙන් දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයට තීරණාත්මක වෙළඳපලවල් නැවත තහවුරු කිරීම අවශ්‍ය වන අතර, අර්ථවත් ගමනාන්ත සහ අත්දැකීම් සොයන මුල් සංචාරකයින් සමඟ තමන් සපයන සේවාවන් සහ අත්දැකීම් සැබවින්ම ගැලපෙන වන බව සහතික කළ  යුතුවේ.