සංචාරක කර්මාන්තය තුළ ධාරිතාවන් සහ අවස්ථාවන් වර්ධනය

ඕස්ට්‍රේලියානු රජය විසින් අරඹන ලද Skills for Inclusive Growth වැඩසටහන අම්පාර, මඩකළපුව, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන සංචාරක ක්ෂේත්‍ර තුළ නිපුණතා පුහුණුව, රැකියා උත්පාදනය සහ ව්‍යාපාර වර්ධනයට සහාය වන්නකි.

මෙම වැඩසටහන ආරම්භයේ සිටම (2017) සංචාරක වටිනාකම් දාමය පුරාවට ආහාර පාන සැපයුම්, සංචාර සංවිධානය, සහ සංස්කෘතික ක්‍රියාකාරකම්, සහ අන්තර්ගතයන් නිර්මාණය කිරීම් ආදිය අඩංගු නිපුණතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම සඳහා සහාය වී තිබේ. සංචාරක කුසලතා සංවර්ධනය සඳහා අවස්ථාවන් ලබා දීමෙන් පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට වර්ධනය වෙමින් පවතින හා විවිධාකාර සංචාරක වෙළඳපොළවල අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇතැයි වැඩසටහන තරයේ විශ්වාස කරයි.

කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා රැකියා ලබා ගැනීමට හෝ රැකියාව වැඩිදියුණු කර ගැනීමට සහාය වීම සඳහා වෘත්තීය හා තාක්ෂණික පුහුණුව ලබා දීම කෙරෙහි Skills for Inclusive Growth (S4IG) වැඩසටහන දැඩි අවධානයක් යොමු කරන අතර, පුද්ගලික අංශයේ සේවය කරන අඩු ආදායම්ලාභීන් සඳහා අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එය දිවයින පුරා, විවිධ ප්‍රජාවන් සඳහා, රජයේ හෝ පෞද්ගලික අංශයේ විවිධ පාර්ශවකරුවන් සමඟ සමායෝජනයෙන් කටයුතු කළ හැකි, සැමට අවස්ථාවන් සපයන ආකෘති නිර්මාණය කර ඇත.

ශ්‍රී ලංකාව සඳහා සංචාරක ව්‍යාපාරයේ විවිධත්වය හා ඇතුළත් කිරීම සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද සහ අප දැනට සිටින්නේ කොතැනද යන්න අවබෝධ කර ගැනීම සඳහා Skills for Inclusive Growth හි සැලසුම්, අවස්ථා සංවර්ධන සහ ප්‍රතිලාභ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාරන්‍යා රවිකුමාර් සමඟ අපි කතා කළෙමු.

ජනතාව සංචාරක රැකියාවන් නවාතැන් / ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පමණක් සීමාවී ඇතැයි බොහෝ විට සිතන බව ශාරන්‍යා පැහැදිලි කරයි. එබැවින්, S4IG හි දැනුවත් කිරීම්වල ප්‍රධාන අංශයක් වී ඇත්තේ නවාතැන් සේවාවලට වඩා සංචාරක ව්‍යාපාරය පුළුල් එකක් බව තේරුම් ගැනීමට ජනතාවට උපකාර කිරීම ය. සංචාරක වටිනාකම් දාමයේ ආහාර පාන, ප්‍රවාහන, සංස්කෘතිය, අත්කම් හා කලා කටයුතු, කෘෂිකර්මය යනාදී විවිධ උප අංශවල විභවතාවයන් ජනතාවට හඳුන්වා දීම එම අභියෝගයේ කොටසකි.

S4IG විසින් ප්‍රජාව තුළ දැනටමත් පවතින වත්කම් මත පදනම්ව ප්‍රජා සංචාරක ක්‍රියාකාරකම්වල කළ හැකි බව පෙන්වා දෙයි. නිදසුනක් වශයෙන්, මසුන් ඇල්ලීම පිළිබඳ අත්දැකීමක්, දේශීය ගොවිපළක සංචාරයක්, සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පන්තියක්, සංස්කෘතික උත්සවයක් හෝ දේශීය ශිල්පයක් වැනි යමක් සංචාරක නිෂ්පාදනයක් බවට හැරවිය හැකි අතර ඉන් බොහෝ දෙනෙකුට ආදායම් උපයා ගැනීමේ අවස්ථා නිර්මාණය වේ. සංචාරක ක්ෂේත්‍රය තුළ රැකියා කරන ආදර්ශමත් කාන්තාවන් සහ ආබාධිත පුද්ගලයින් අප දනිමු. ඔවුන්ගේ ජීවිත කථාවෙන් අන් අයට උද්‍යෝගයක් ලබා ගත හැකි අතර ඔවුන්ගේ උත්සාහය ආදර්ශයට ගත හැකිය. තමාට මෙන්ම අනෙකුත් කාන්තාවන්ට ද රැකියා අවස්ථාවන් ජනනය කළ කීර්තිකා ගැන මෙතැනින් දැනගන්න.

සංචාරක වටිනාකම් දාමයේ සාම්ප්‍රදායික නොවන අවස්ථා

සංචාරක උප අංශයන් තුළ විවිධ අවස්ථාවන් සඳහා අවශ්‍ය විවිධ කුසලතා ගොඩනැගීම කෙරෙහි ද S4IG අවධානය යොමු කර ඇත. ඒවා තවදුරටත් සංචාරක කර්මාන්තයේ සම්ප්‍රදායික රැකියා ප්‍රවර්ධනය නොකරන බවත්, අඩු නිපුණතා සහිත සංචාරක රැකියාවලින් ඈත්වෙමින් විශේෂයෙන් කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා උචිත රැකියා වෙත යොමු වෙමින් පවතින බවත් ශාරන්‍යා පෙන්වා දෙයි. අඩු නිපුණතා ඇති රැකියාවන් තුළින් නොනැවතී, මෙම අංශයේ ඉහළ නිපුණතා ඇති රැකියා විකල්ප පිළිබඳව ද ඔවුන්ගේ දෑස පෑදීම මෙහි අරමුණයි. මේ සම්බන්ධයෙන් සිදුකරන ලද සමහර වැ‍ඩසටහන් අතරට අම්පාරේ කාන්තා සර්ෆ් සමාජය, තාක්‍ෂණික වැඩසටහන් සහ නැගෙනහිර පළාතේ කාන්තා සංචාර මාර්ගෝපදේශ වැඩසටහන යනාදිය ඇතුළත් වේ.

නිපුණතා හිඟතාවය මෙම අංශ සඳහා තවත් ප්‍රධාන අභියෝගයකි. බොහෝ කාන්තාවන්ට සහ විවිධ හැකියාවන් ඇති පුද්ගලයින්ට මෙම ක්ෂේත්‍රයේ රැකියා කිරීමට දැඩි ආශාවක් හා හැකියාවක් ඇති නමුත් ඊට පිවිසීමට අවශ්‍ය විශේෂිත කුසලතාවන් ඔවුන් සතුව නොමැත. ඔවුන් සඳහා රැකියා ස්ථාන ආශ්‍රිත අවස්ථා සහ පුහුණුව, සීමාවාසික පුහුණුව සහ පුහුණු වැඩසටහන් ඇත්තේ සංචාරක ආයතන වලින් ඉතා සුළුතරයක පමණි. එමඟින්, විධිමත් කුසලතා සහ වෘත්තීය පුහුණුව සහ ඇගයීම්, දැනුවත්භාවය හා තොරතුරු නොමැතිකම, වෘත්තීය මාර්ගෝපදේශන නොමැතිකම හෝ ආබාධ හේතුවෙන් සීමාවන් පැණවීම සිදුවිය හැකිය.

මෙය S4IG මුල් අවධියේ පටන්ම අවබෝධ කරගත් දෙයක් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට මෙම ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. සියලුම ඇගයීම් ලිඛිත ස්වරූපයෙන් පමණක් සිදු කර ඇති බැවින් ජාතික සුදුසුකම් රාමුව ආබාධිත අයට විශාල බාධාවක් බවට පත්ව ඇති බව S4IG අවබෝධ කර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට (TVEC) දැනුම් දී ඇති අතර, ආබාධිත පුද්ගලයින්ට සාධාරණ සේවා සැලසීමට වන TVEC හි නව ප්‍රතිපත්තිය ගැන ආබාධිත ප්‍රජාව දැන් සතුටු වන අතර එමඟින් ඔවුන්ගේ අවසන් විභාගය විකල්ප ආකාරයකින් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබී තිබේ. එබැවින් දැන් සියළුම සිසුන්ට ලිඛිත විභාගයකට පෙනී සිටීමට අවශ්‍ය නොවනු ඇත. ඔවුන්ගේ හැකියාවන්ගේ සීමාව අනුව තක්සේරු කිරීමට සහ ඇගයීම් සම්පූර්ණ කිරීම සඳහා සාධාරණ පහසුකම් සපයනු ලබන්නේය.

Kavitha, participating in Supreme Chef Season One second round selection process.

සැමට අවස්ථාව දෙන මානව සම්පත් ප්‍රතිපත්ති වල වැදගත්කම

පුද්ගලික අංශයේ මානව සම්පත් යහ-භාවිතයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ රාමුවක් නොමැතිකම සහ එය නියාමනය කිරීම සඳහා සංවිධානාත්මක ආයතන නොමැතිකම කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයින් සංචාරක ව්‍යාපාරයට පිවිසීම වළක්වන තවත් ප්‍රධාන කාරණයක් වේ. රැකියා ස්ථානයේ කාන්තාවන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට සාධාරණ ලෙස අවස්ථාවන් සැලසීම සඳහා ව්‍යාපාර අනුවර්තනය විය යුතු නමුත් ඒ සඳහා හොඳ පුහුණු මාර්ගෝපදේශයක් හෝ නීතිමය පසුබිමක් නොමැත.

කාන්තාවන්ට සහ ආබාධිතයන්ට රැකියා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් බව බොහෝ කුඩා ව්‍යාපාර සැලකිල්ලට නොගනී. එසේ අවස්ථාව සලසන රැකියා පරිසරයක් තුළ ආබාධිත පුද්ගලයින් සඳහා විශේෂිත පහසුකම්, වෙනම වැසිකිළි/කැසිකිළි, ඇඳුම් මාරු කරන කාමරයක් සහ විශේෂිත මෙවලම් අඩංගු කළ හැකිය. නිදසුනක් වශයෙන්, මුළුතැන්ගෙයක වැඩ කිරීම සඳහා දිගු කාලයක් සිටගෙන සිටීමට අවශ්‍ය වන නමුත් කෘත්‍රීම අවයව ඇති පුද්ගලයෙකුට එසේ කිරීමට නොහැකි විය හැකිය. එබැවින් සීමිත චලන හැකියාවන් ඇති අය සඳහා යම් ආකාරයක ආධාරක හෝ මෙවලම් සැපයීම කෙරෙහි සලකා බැලිය යුතුය. මෙම අංශවල බොහෝ කම්කරුවන් මුහුණ දෙන තවත් අභියෝගය වන්නේ විධිමත් කොන්ත්‍රාත්තුවක්, නියමිත වැඩකරන වේලාවන් නොමැතිකම, ඉතා අඩු වැටුප්, සමාජ අපකීර්තිය, සහ ආකල්පමය බාධක වැනි වෙනස්කම් කිරීම් ආදිය ය.

S4IG හි කණ්ඩායම මෙම ගැටළුව පිළිබඳව පුළුල් පර්යේෂණ සිදු කර ඇති අතර, සංචාරක සේවා කර්මාන්තය සඳහා මානව සම්පත් මෙවලම් කට්ටලයක් එනම්, යහ-පුරුදු අත්පොතක් නිර්මාණය කර ඇත. ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සමඟ එම මෙවලම් කට්ටලය අනුමත කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර, පසුව එය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇත. එවිට සංචාරක සේවා ආයතනයක් SLTDA සමඟ ලියාපදිංචි වූ විට, ඔවුන් මෙම මානව සම්පත් මෙවලම් කට්ටලය අනුගමනය කිරීම අනිවාර්ය වන අතර, මානව සම්පත් ගැටළු සමඟ කටයුතු කිරීමට වඩා හොඳින් සූදානම් වීම සඳහා කෙටි මානව සම්පත් පාඨමාලාවකට සහභාගී වීමට ද සිදුවනු ඇත.

Participant Sinthujah, Workplace-based Basis Skills Development Project – Housekeeping Unit, JKAB Park & Beach Resort, Trincomalee.

කොවිඩ්-19 සහ කාන්තාවන්ගේ හා ආබාධිත පුද්ගලයින්ගේ රැකියා කෙරෙහි එහි බලපෑම

කොවිඩ්-19 සංචාරක ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ සහ ආබාධිත පුද්ගලයින්ගේ රැකියාවන් කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. නාගරික හෝටල්වල රැකියාවල නියුතු කාන්තාවන් විශාල පිරිසකට රැකියා අහිමි වී ආපසු සිය ගම්බිම් බලා ගොස් තිබේ. මෙම රැකියා ලබා ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළ බොහෝ දෙනෙකුට මෙය විශාල පසුබෑමක් වී තිබේ.

එපමණක් ද නොව, වසංගතය නිසා ගමන් බිමන් යාමට පැණවී ඇති සීමාවන් නිසා බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපහසුතාවන්ට මුහුණ දී සිටින අතර, තම කාර්ය මණ්ඩලය අවම කරලීමට ද සිදුව තිබේ. සේවයෙන් පහ නොකර ඉතිරිව සිටින්නන් ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යාම සඳහා විවිධ කාර්යයන් ගණනාවක් කළ හැකි කාර්ය මණ්ඩල සාමාජිකයින් වේ. කාන්තාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට මෙය අභියෝගයකි. ඒ, ඔවුන්ට ඇතැම් කාර්යයන් කිරීමට හැකියාවක් නොමැති බව හෝ ශාරීරික දුර්වලතා ඇති බැවිනි. බොහෝ අවස්ථාවන්හිදී, පළමුවෙන්ම සේවයෙන් ඉවත් කරනු ලබන්නේ මෙවන් කම්කරුවන් ය.

S4IG විශ්වාස කරන ආකාරයට, මෙය ජය ගත හැකි එක් ක්‍රමයක් වන්නේ විවිධ කුසලතා ලබා ගැනීම සඳහා ඔවුන්ව පුහුණු කිරීම වන අතර, එමඟින් සේවා යෝජකයන්ට ඔවුන්ව රඳවා ගැනීම සඳහා වටිනාකමක් නිර්මාණය වේ. S4IG විශ්වාස කරන්නේ කාන්තාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට දැන් ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති හිඩැස් දෙස බලා තමන්ටම අවස්ථා නිර්මාණය කර ගත හැකිබවයි. නිදසුනක් වශයෙන්, පශ්චාත් කොවිඩ් සමය තුළ දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන ප්‍රවර්ධනය කිරීම අතිශයින්ම වැදගත් වනු ඇති බව ශාරන්‍යා පෙන්වා දෙයි. විශේෂයෙන් දේශීය සංචාරකයින් ඉලක්ක කිරීමේදී, යම් ස්ථානයක ඇති අද්විතීය ලක්ෂණ පිළිබඳව අව්‍යාජ හා සිත්ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කිරීම වැදගත් වේ.

ඊට නව චින්තනයක් සහ නව කුසලතා රාශියක් අවශ්‍ය වේ. තාක්‍ෂණය භාවිතා කිරීම, රැස්වීම් සංවිධානය කිරීම, හවුල්කරුවන් (පුද්ගලික, පරිත්‍යාගශීලීන්, ආයෝජකයින්) සම්බන්ධ කර ගැනීම, සාකච්ඡා කිරීම, සහ නායකත්වය දැරීම යන සියල්ලම සාර්ථක ප්‍රවර්ධන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. S4IG විසින් කාන්තාවන්ට සහ ආබාධිත පුද්ගලයින්ට මෙම අවස්ථාවන් ලබා දෙන ලෙස උපදෙස් දී ඇති අතර, නිවසේ සිට පහසුවෙන් කළ හැකි මේවාට ව්‍යාපාරයක විධිමත් රැකියාවක් හෝ තනතුරක් අවශ්‍ය වන්නේ නැත. උනන්දුව ඇති ඕනෑම අයෙක්ට අලෙවිකරණය, වෙළඳ නාම ප්‍රචාරණය, සංචාරක ස්ථාන වලින් ගත් වීඩියෝ බෙදා හැරීම, සමාජ මාධ්‍ය පළ කිරීම්, සංස්කෘතික වැඩසටහන් වැනි ක්‍රියාකාරකම් සිදු කළ හැකිය.

S4IG විසින් ක්‍රියාත්මක කරන ලද, දැනට දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට සීමා වී ඇති මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, වැඩසටහනේ සාර්ථකත්වය සහ වසර ගණනාවක් තිස්සේ කණ්ඩායම විසින් ලේඛනගත කර ඇති වාර්තාවන්, සහ තොරතුරු රට පුරා, විශේෂයෙන් දුගී දුප්පත් ප්‍රජාවන් වෙනුවෙන් මෙවැනිම වැඩසටහන් දියත් කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

සමාජ හා ආර්ථික සංවර්ධනයට සංචාරක කර්මාන්තයේ දායකත්වය පිළිබඳව අපි කවුරුත් හොඳින් දනිමු. නමුත් ආයතන සහ පුද්ගලයින් සන්නද්ධ කිරීම හා සවිබල ගැන්වීම, නිවැරදි කුසලතාවන් පුහුණු කිරීම, සමාන අවස්ථා නිර්මාණය කිරීම, සැමට අවස්ථාව ලැබෙන බවට සහතික වීම යනාදිය තුළින් සංචාරක ව්‍යාපාරය සැමට ප්‍රතිලාභ සපයන ආකාරයට වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබේ.

ඔබත් මේ සමග එක්වීමට කැමති නම් S4IG ගැන තවත් සොයා බලන්න. අවශ්‍ය නම් ඔබට [email protected]හරහා ශාරන්‍යා සම්බන්ධ කරගත හැකිය

ඡායාරූපය: පොළොන්නරුවේ සියත්මා හෝටලයේ හිමිකාරිණී වින්ද්‍යා විතානගේ. ඡායාරූප අයිතිය: Skills for Inclusive Growth